එරන්ද(තී)

එරන්ද(තී)

.

Damith Kethaka

.

“ඕයි….මේ…..කෙළින් බලන්න එපා පෙරේතයෙක් වගේ…..ෂේප් එකේ බලපන් උඹට සයිඩ් එකෙන්, අර ගෙදරට යන කෑල්ල දිහා…..”

“පට්ටනේ…?”

“අඩෝ පට්ටදත් අහනවා…..අලුතින් බැස්ස ෆැමිලි එකක්ද බන්…?…. මම ඔය කෙල්ලව මීට කළින් මේ ඒරියා එකේ දැකලම නෑ…..!…. උඹ දන්නවනෙ ඉතින් මේ හසංකයා නොදන්න ගවුමක්, සායක් මේ අනුරාධපුරේ ඉන්න විදියක් නෑ කියලා….!”

“මචන් ඔය පාර යන්නෙ ආණ්ඩුවේ ක්වාටස් වලට…..මාත් හිතන්නෙ ඔය කෙල්ලගෙ තාත්තා හරි අම්මා හරි, මෙහෙට ට්‍රාන්සර් වෙලා ආපු ගමන වෙන්න ඕන…..මම ඉතින් මේ ඒරියා එකේම එකානෙ……මාත් ඕකිව දකින්නෙ මේ ඊයෙ පෙරේදා ඉඳලා…”
“අඩෝ….කෝමද සුද….?…..ෂුවර් කොළඹින් හරි, නුවරින් හරි ආපු එකක් වෙන්ඩෝන…..උඹ නිකමටවත් රබර් ඇහැ දාලා බැලුවෙ නැද්ද මුකුත් විස්තරයක් ගන්න…..?”

“පිස්සුද උත්තො….?….දෙපාරක් ඒ ලෙවල් කෙළෝගෙන මට මේ තියෙන ප්‍රශ්ණ මදිවට, උඹ කියන්නෙ ඔය ආණ්ඩුවෙ හයිපයි ලොක්කෙක්ගෙ දුවෙක් රන් කරන්න ගිහින්, අන්තිමට ඕකුන්ගෙ තාත්තා පොලිසි ගිහිල්ලා, ඇපත් නැතුව හය මාසයක් රිමන්ඩ් එකේ හැමනෙන්න කියලද?…..මම මේ ජොබ් කට්ටක් ගොඩ දාගෙන, තාත්තගෙ වකුගඩු කේස් එකට මොකක් හරි කරලා, මල්ලිගෙ කෝස් එකටත් ගානක් දෙන්නෙ කොහොමද කියලා බලනවා…..ඕකුන් රන් කරන්න කොහෙ තියෙන සල්ලිද?…..අනික ඕ වගේ ඒවා මේ අපට වැටෙනව කියලද?….”

“ට්‍රයි කරලා බලාන්කො පගෝ, නිකම්ම අතෑරලා දාන්නෙ…..!….උඹට බැරි නම් කියාන්, මම බහින්න ඕකට..!….මාසයක් දියන්, බයික් එකේ ඉන්දෝගෙන රවුම ගස්සලා පෙන්නන්න…..දන්නවනෙ හසංකයා බැස්සා කියන්නෙ ආයෙ…..

“යකෝ….ඒකිගෙ ප්‍රිෆෙක්ට් බැජ් එකේ හැටියට ඒකි ඉන්න ඕන ඒ ලෙවල්…..ඔය උඩ දාගෙන පාඩම් කරන කෙල්ලො බන්….ඔවුන් උඹලගෙ ලයින් වලට වැටෙන්නෙ නෑ…..අනික අම්මා තාත්තා ආණ්ඩුවෙ රස්සා නම්, දූ උඩටම ඉගෙන ගන්න කැමති එකක් වෙන්ඩෝන…..උඹ වගේ මේ දෙපාරක් ලයිට් කණු ගත්තු හිඟන්නෙක් එක්ක ඇවිත්, අර උඹලගෙ පල්ලෙගම හාන්න කැමති වෙයිද ඒකි….?……නිකම් මේ අමාරුවෙ වැටෙන් නැතුව, ඔය මොළේ පාවිච්චි කරලා පණම් හතරක් හොයාගන්න ක්‍රමයක් හිතාම් බන්….!…..රෙද්ද….!….ෆිල්ම් එකක් බලන්න සතයක් නැති, රයිස් එකක් අරන් දෙන්න පන්සීයක් නැති අපිට මොන ලවුද ඕයි…?…. තෝ බයික් එකට තෙල් ගහන්නෙ, තොගෙ ආමි එකේ අයියගෙ පඩියෙන් නේද?….”

“හරි හරි….මං හිඟන්නා තමයි…..මේ බයික් එකත් අයියා කාරයගෙ තමයි…. තෙල් ගහන්නෙත් උගේ සල්ලි වලින් තමයි…..ඒත් බං, මේ වයසට නොකරන ලවු කවදා කරන්නද….?….හිඟන්නෙක් උනත් මටත් තියෙන්නෙ මනුස්ස බොක්කක්…..”

“උඹ මම කිව්ව එක සිරා ගන්න ඕන නෑ…..!…මොකෝ මම කියලා බිල් ගේට්ස්ද ?….. ඒක නෙමේ….උඹ තාම එකපාරනෙ විභාගෙ ගත්තෙ…..එක්කො උඹ ආයෙ දාලා කරලා කැම්පස් පලයන්….නැත්තන් මම වගේ ඔය උත්තෙ විභාග අතෑරලා දාලා, අපි දෙන්නම ගොඩ යන ලයින් එකක් හිතපන්……අර උඹලගෙ කොරියාවෙ ඉන්න බාප්පා කාරයා මුකුත් සප් එකක් නැද්ද අපි දෙන්නට…?…..පැනගත්තොත්, ඕවට හරියන්න සුදු කෑලි අත් දෙකට අරන් ඉන්න පුලුවන් අපිට…..”

“අඩෝ ඇයි බං ඕ ලෙවල් වලදි “මැත” සිරාවටම තිබ්බ අපි දෙන්නට මේම උනේ….?…. අපි ඒ ලෙවල් මැත්ස් කරන්න ගද්දි, කවුරුත් හිතුවෙ මැත්ස්, පිසික්ස් අපි රෑන්ක් ගහයි කියලා…..ඒ අඩෝ…..අර බලපන්…..අර ඇතුළට ගිය කෙල්ලගෙම මූණ තියෙන කොල්ලෙක් නේද අර බස් එකෙන් බැහැලා, ඒ පාර දිගේම යන්නෙ….?…..අඩෝ ඌට තියෙන්නෙත් ඒකිගෙම මූණමයි බන්…. ඒ වයසෙම වගෙත්….!….ෂුවර් නිඹුල්ලු වෙන්ඩෝන….!”

“වෙන්න ඇති බන්….!…..මම ඔය පවුල ගැන වැඩිය දන්නෙ නෑ…..ඒකිගෙ නිඹුල් අයියා හරි, මල්ලි හරි වෙන්න ඇති…..!….ඒක නෙමෙයි…..උඹ ඇහුවා නේද ඇයි අපට කෙළ උනේ කියලා….?…..අපිට කෙළ උනේ, අපි සිලබස් එකේ තිබ්බ එව්වා පැත්තක දාලා, විද්‍යා ප්‍රබන්ධ සයිපයි ලබ්බවල් පස්සෙයි, අර ඉස්කෝලෙ සයන්ස් ක්ලබ් එක හදලා, ඒකෙ මනස්ගාත පස්සෙයි දුවන්න මහන්සි උන නිසා……අනුරාධ අයියලගෙ ගෙදර ඉන්ටනෙට් එකෙන් අපි පිටසක්වල ජීවීන් ගැන හොයලා, ප්‍රදර්ශණේට යූ.එප්.ඕ එකක් හැදුවා……පොඩි උන්ට කොන්ටම් පිසික්ස්, අයින්ස්ටයින් ගැන ඉගැන්නුවා…..එක් ෆයිල්ස් බැලුවා…. කොටින්ම විභාගෙට සති දෙකක් තියලා අපි ගියේ කොහේද?…..පොළොන්නරුවෙ අහසෙ යූ.එප්.ඕ එකක් දැක්කා කිව්වාම, උඹයි, මායි, සේනායි, ගුරුවයි සෙට් එකම ගිහින් රද්දන අයියගෙ හේනෙ ලැග්ගා රෑ දෙකක්……ඔන්නෝවා නිසා තමා අපට ඉකවුනේ….!….ක්ලාස් කපාගෙන, සොහොන් පිට්ටනි වල ලැග්ගා හොල්මන් පේනවද බලන්න….මනුරයගෙ හොම්බ දිග කැමරාව අරන් ගිහින් තොවිල් පළවල පොටෝ ගැහුවා, දෙයියෝ, යක්කු අහුවෙනවද බලන්න….මොනවද කියපන් අපි නොකළෙ….?”

“අඩෝ … ඒ උනාට ඒක ආතල් ලයිප් එක බන්….මට නම් මැරෙන කල් අමතක වෙන්නෙ නෑ ඒ ටික…..”

“ආතල් තමයි…!… ඒ කාලේ අපි කොන්ටම් පිසික්ස් ගැන පණ්ඩිත ටෝක්ස් දෙනකොට, ලියනාරච්චි කිව්ව එක මතකද?….ඌ අද පේරෙ….!…..ඌ කිව්ව එක හරි බන්….!….මිනිස්සු උනාම වැඩකට ඇති දේවල් පස්සෙ යන්න ඕන….අපි දිව්වෙ බහුභූත පස්සෙ….!….දැන් තමයි අපට වගකීම කියන එක පත්තුවෙලා තියෙන්නෙ….”

========================================

“නංගි….මේ…එක්සූස් මී…..චුට්ටක් ඔහොම ඉන්නවද?…..මට පොඩ්ඩක් කථා කරන්න ඕන….”

“ආ…අයියගෙ නම හසංක නේද?…”

“ඇහ්….?….ඔ…ඔයා කොහොමද මගේ නම දන්නෙ….?”

“මම අනිත් හැමදේම දන්නව වගේ තමයි, අයියෙ, ඒකත්…..”

“ඒ…ඒ… කිව්වෙ….?”

“නෑ නෑ….එක්සයිට් වෙන්න දෙයක් නෑ…..මම ඔයාගෙ නම දන්නවා….”

“කවුද කිව්වෙ…?…ඉස්කෝලෙ ළමයි අතරෙ මාව අඳුරන අය ඉන්නවද…?… ඒත් වෙන්න බෑනෙ….මම ඔයා එක්ක කථා කරපු පළවෙනි දවසත් අද…..!….කොහොමද ඔයා මගෙ නම දන්නෙ….?”

නව යෞවනිය දිගු සුසුමක් හෙළුවාය…..” ඒක ගොඩක් ලොකු කථාවක් හසංක අයියා….!”

“මොම්…. මොකක්….මගේ නම දන්න එක ලොකු කථාවක්….!….අනේ මේ සුදු නංගි….!….මම ඔයා එක්ක කථා කරන්න ඕන කිව්වෙ ….”

“…ඕන කිව්වෙ ඔයා මට කැමති නිසා වෙන්න ඕන….”

“හම්මෝ….!….ඔ…ඔව්…. ඒ ටික ඉතින් හිතාගන්න පුලුවන් නෙ…..ඒත් මාව බය නොකර කියමුද මගේ නම දන්නෙ කොහොමද කියලා….”

“හ්ම්ම්…. හොඳයි….ඔයා මේ කථාව විශ්වාස කරන එකක් නම් නෑ……ඒත් කියන්නම්……දැන් ටිකකට කළින් මම මෙතනින්ම යනකොට, ඔයාගේ යාලුවෙක් ඔයාට පාරෙන් එහා, අර පැත්තෙ ඉඳලා “හසංක..!..හසා..!..ගීන් එන්නම්…!” කිව්වා නේද….?….අන්න එහෙමයි මම ඔයාගෙ නම දන්නෙ….”

“ඔ….ඔ…ඔව්…. එහෙම කිව්වා තමයි…..ඒත් ඔයා බස් එකෙන් බැහැලා ආවේ මේ දැන්නෙ…..!…..ඔයා කොහොමද ඒක දැක්කෙ….?”

“මේ පාරෙන් මෙතනින්ම, මීට විනාඩි විස්සකට වගේ කළින්, මම වගේම මූණ තියෙන, මගේ උසම තියෙන, පිරිමි ළමයෙක් යනවා දැක්කද අයියා…?”

“ඔව්…..ඒ ඔයාගෙ නිවුන් සහෝදරයනෙ…?… අපි ඔය දෙන්නව කළින් දවස් කීපයකම දැකලා තියෙනවා…..අපි ඔයා එනකල්
මෙතන…..න්…නෑ….මේ….මේ … මම කිව්වෙ, මායි මගේ යාලුවෙකුයි, හවසට කම්මැලි කමට, අතන පාළම් ගැට්ට ළඟ ඉන්නකොට දකිනවා, මේ වෙලාවට හැමදාම ඔය දෙන්නා ගෙදර යන හැටි…..ඒ ඔයාගෙ නිඹුල් අයියද, මල්ලිද?….”

යුවතිය ආයාසයෙන් හසංක දෙස බලා, අනතුරුව බිම බලාගත්තාය…..දෙදෙනා අතර මඳ වේලාවක නිහැඬියාවක් විය……ඈතින් කුඹුරු යායේ කෙළවර පෙනෙන ක්ෂිතිජයේ හිරු ක්‍රමයෙන් අස්ථානයට යමින් පැවතිණි……අවට ගොම්මන් පැහැයේ ආක්‍රමණය දැඩිවූ මොහොතක තරුණිය නැවත හිස එසෙව්වාය…..

“නෑ අයියෙ……ඒ මමම තමයි….!…..මීට විනාඩි විස්සකට කළින් ඒ ගියෙත් මම ….!”

“මො….මොනවා……මො…..එහෙම කොහොමද වෙන්නෙ…?… නංගි මේ අපි එක්ක කථා කරන්න බැරි නම්, පාණිය නොදා බැහැයි කියන්ඩ ආ, කෙළින්ම මූණට….. නිකම් මේ බොරු කියලා අපිව අන්දන්න එන්න එපා ඔයා, මේ අපි තොත්ත බබ්බු කියලා හිතුවද….?…..හිතුවද අපි මේ ඊයෙ පෙරේදා අනිත් පැත්තට උපන්නා කියලා…..?…..”

හසංකගේ කෑ ගැසීම මඳ වේලාවක් ඉවසා සිටි යුවතිය, ඉතාම දැඩි ස්වරයකින් හසංක ඇමතුවාය….

“එහෙනන් කොහොමද මම ඔයාගෙ නම දන්නෙ….?”

ගොම්මන් අඳුර කපාගෙන ඇයගේ දෙනෙත් වල තියුණු බව පරිසරය විනිවිද ගියේය……තරමක් තිගැස්සුනේ වුවද, ලාබාල යුවතියක් ඉදිරියේ, විශේෂයෙන්ම ඉදිරියේදී ප්‍රේමාන්විත කථාවකට සම්බන්ධ කර ගැනීමට පතන යුවතිය ඉදිරියේ, බය නොපෙන්වා සිටින්නට හසංක සමත්විය…

“ඔ….ඔයාට කළින් දවසක ඇහෙන්න ඇති අපි කථා කරනවා…..නැ….නැත්තන් ඔයාගෙ අයියා ඔයාට කෝල් එකක් හරි, මැසේජ් එකක් හරි ගහන්න ඇති…..!….”
“අපේ ඉස්කෝලෙට ෆෝන් ගෙනියන්න තහනම් අයියෙ……අර පාළම ළඟ ඉඳලා මෙතන මීටර් පනහක් විතර ඇති…..අපි මේ පළාතට ඇවිත් හරියටම මාස දෙකයි….ඔයාලා මම එනකල් ඔය පාළම උඩ ඉන්න පටන් ගෙන, සතියක් වත් නෑ….!……පහුගිය දවස් හයට, මීටර් පනහකට වඩා දුරක් ඇහෙන තරම් හයියෙන්, ඔයාලා දෙන්නා නම් කියලා කථා කරගත්තද?…..”

“ෂුවර් එකට මගේ යාලුවා සෙනුර, ඔයාට ටෝකක් දාලා තියෙනවා…..ඌ ඔයාට මගේ නමත් කියන්න ඇති…..ඒ….ඒත්…සෙනුරයාගෙ තාත්තා අසනීපෙන් නිසා ඌ වැඩිපුරම ඉන්නෙ ගෙදර මේ ටිකේ…..ඌ කොයි වෙලාවෙද ආවෙ….?…..දවල් වරුවෙ ඔයා ඉස්කෝලෙ නෙ……ඔය දෙන්නා කළින් අඳුරනවද?…..”
“අයියෙ…..ඒ අයියගෙ නම සෙනුර කියන එක මම දන්නෙත් දැනුයි…..මම තව දෙයක් කියන්නද?…..මම, ඒ කියන්නෙ මේ ඔයා ඉස්සරහා දකින ගෑණු ළමයා මෙතනට එන්න විනාඩි විස්සකට කළින්, ඔයා අර පොඩි පාළම උඩ ඉඳගෙන හිටියෙ, අත් දෙකෙන් දණිස් දෙකට තට්ටු කර කර……”

“න…නංගි…..මේ….හ…හවස් වේගෙන එනවා….මම එක්කො යන්නම්……”
“පොඩ්ඩක් ඉන්න….!…..” කියමින් පාසැල් ගවුම ඇඳි යුවතිය ක්‍රම ක්‍රමයෙන් පෙරට ආවාය…..

හසංක සිටියේ එම පාර ආරම්භයෙහි වූ විශාල ගසක පිටුපාය…..යුවතිය පෙරට පා තබත්ම, තරමක තැතිගැන්මකින් යුතුව පස්සට පියවර කිහිපයක් තැබූ හසංක නතර වූයේ, ගසට හේත්තු වෙමිනි……තමන්ට වඩා ලාබාල තරුණියක් ඉදිරියේ බියෙන් පැන දුවන්නට තවමත් ඔහුගේ ගරුත්වය ඉඩ නොදුන්නේය…..එසේ පැන දිවුවහොත්, අනුරාධපුරයේ ප්‍රසිද්ධම බාළිකා විදුහලක දැරියන් අතරේ පසුවදා එම කථාව විදුලි වේගයෙන් දුවගොස්, එයින් තටු ලැබ පියාඹා, මුළු මහත් අනුරාධපුරය සිසාරා සරනු ඇත…..නැවත කිසිදාක තමන්ට උපහාසයට ලක් නොවී, සමවයස් කණ්ඩායම් අතරට වදින්නට ඉඩ නොලැබෙනු ඇත…..

“මමත්, මගේ නිවුන් සහෝදරයා කියලා ඔයාලා හිතන, ඒ කළින් දැකපු පිරිමි ළමයත්, අපි දෙන්නම එක්කෙනයි…..එක්කෙනාම දෙන්නයි…..මේ අවකාශයේ මාන කීයක් තියෙනවද?…..”

“තු…තුනයි නංගි…..ආ….නෑ නෑ…..4 යි … 4 යි….”

“මොනවද අයියෙ ඒ මාන 4 ?”

“අවකාශ මාන 3, හෙවත් දි….දිග, ප….පළල, උ…..උස දක්වන මාන තුන ….”

“එතකොට 4 වෙනි මානය, හසංක අයියෙ….?” අතිශය සොඳුරු යැයි සිතූ යුවතියගේ දෑස් දැන් දැන් වටකුරු වී සුවිශාලව තිබිණි…..ඇයගේ සුදෝසුදු පුංචි මුහුණට එමඟින් භයංකරත්වය මුසු, වචනයෙන් විස්තර කළ නොහැකි ලස්සනක් ඉසී තිබිණි….ඇය, ඒ සුන්දර මුහුණටම සරිලන දසන් දෙපෙළ නිරාවරණය කරමින්, ගසක් දිගේ ඉහළ ඇදෙන සර්පයෙකු සේ හිස පැත්තකට ගැස්සුවාය…..

“හ….හ…හතරවෙනි මානය කාළය…..කාළය….”

“අන්න හරි, හසංක අයියා….. කාළය….ඕගොල්ලන්ට අවකාශය ( ස්පේස් ) මාන 3 යි….කාළය ( ටයිම් ) මාන 1 යි…..අයින්ස්ටයින් සාපේක්ෂතාවය පහදන්න ලේසි වෙන්න, අවකාශය සහ කාළය එකතු කරලා, අවකාශ-කාළය ( ස්පේස්-ටයිම් ) කියලා තනි හැඳින්වීමක් ගෙනාවා…. මම හරිද හසංක අයියෙ…..?”

“හ….හරි….නංගි හරි නංගි…..!…..”

“එතකොට ඕනෑම ප්‍රස්ථාරයකදී, මොකක් හරි ඒකකයක් කාළයට එරෙහිව ප්‍රස්ථාර ගත කරනවා නම්, ඔයාලා ප්‍රස්ථාරය අඳිනකොට, කාළය දාන්නෙ එක අක්ෂයකටයි…..උදා: “එක්ස් ” අක්ෂය තමයි කාළය…..පැය, දින, සති, මාස, අවුරුදු දාන්නෙ එක්ස් අක්ෂයට…..මම හරිද….?”

හසංකගේ සියොළඟ දහදිය වැල් ගළා යමින් තිබූ අතර, මූත්‍රා බරක්ද හටගෙන තිබිණි….. හෙතෙම තොළකට වියැළී ගිය මුව අයා වටපිට බැලුවේය…..ගොම්මන් කලුවර දැඩිව අරක් ගනිමින් තිබූ පරිසරයේ, අහළ පහළක පේන්න කිසිවෙක් සිටියේ නැත….

“ඉති….ඉතිපිසෝ….නෑ….මම කිව්වෙ නංගි එතනත් හරි….”
“කාටේසියන් ඛණ්ඩාංක ලකුණු කරනකොට, ටයිම් වැලියු එකක් එක්ක නම් කෝඩිනේට්ස් ගන්නෙ, එක අක්ෂයකට විතරයි කාළය එන්නේ…..”

“ඔ…ඔයා හරි නංගි…..”

“මේ අහගන්න…..මේ මම….මට උපදිනකොටම කාළ අක්ෂ දෙකයි….!…. ඒ කියන්නෙ “ටයිම් ඇක්සිස් දෙකයි….”…. ඒ අනුව කාළ මානත් දෙකයි…..ඒ කියන්නෙ “ටයිම් ඩයිමෙන්ෂන්ස්නුත් දෙකයි”…..අවකාශ හෙවත් ස්පේස් මාන තුනත් එක්ක, මට උපතේ සිටම මුළු මාන ගණන 5 යි…..මම පංච මාන ජීවියෙක්….එතකොට මොකද වෙන්නෙ හසංක අයියේ…..?”

“අපිට බ….බලපාන්නෙ එක කාළයයි…..ඔයාට කාළයන් දෙකක් එකවිට බලපානවා…..ප්‍රස්ථාරයක් ඇන්දොත්, කාළ අක්ෂ දෙකක් ලකුණු කරන්න වෙනවා…..”

“අන්න හරි හසංක අයියෙ….!…..ඔයාලට අවකාශයේ හෙවත් ස්පේස් එකේ මාන තුන ඇතුළෙ සිදුවන “ගෙවීම” තමයි ටයිම් හෙවත් කාළය…..!….මේ මට….?….මට ස්පේස් මාන තුන ඇතුලේ, “ගෙවීම් දෙකක් ” හෙවත් ටයිම් දෙකක් තියෙනවා……කාළය තමයි අනෙක් මාන තුනේම –

  • පහළ වෙන දේවල්
  • බිහිවෙන වස්තු
  • සිදුවෙන සිදුවීම්

සියල්ල තීරණය කරන්නෙ…..කාළය තමයි “උද්භාවික පැවැත්ම” හෙවත් “ඉමර්ජන්ට් එක්සිස්ටන්සි” එක තීරණය කරන්නෙ…..ඒ නිසා මට උද්භාවික පැවතුම් දෙකයි…..එකක් ගැහැණු, අනෙක පිරිමි…..!….දෙන්නම එක්කෙනයි…..එක්කෙනාම දෙන්නයි….!….හැබැයි මගේ එක ටයිම් ඇක්සිස් එකක ගෙවීම සිදුවන්නෙ, අනිත් එකට වඩා විනාඩි 20 ක ගැප් එකක් තියලා…..ඒ නිසා “පිරිමි මට” සහ “ගැහැණු මට” ස්පේස් එකේ ( අවකාශයේ ) ටයිම් පොයින්ට්ස් වෙන් වෙන්ව ලකුණු කරන්න පුලුවන්…..අපිට සිද්ධි වර්ග දෙකකට මුහුණ දෙන්න පුලුවන්…..මොකද සිද්ධි මෙහෙයවන්නෙත් කාළ අක්ෂය….මට කාළ අක්ෂ දෙකක්ම තියෙනවනෙ……හැබැයි විඥාණය එකයි…..කාළ අක්ෂ දෙකේ ඇඟවල් දෙකයි……හැබැයි විඥාණය එකයි……”

“ම….මම එහෙනන් ය….යන්නම්….න….නංගි….ම…ම…බ….”

“දැන් කියන්න හසංක අයියෙ….ඔයාට මාත් එක්ක යාලු වෙන්නද ඕන?…”… දසන් දෙපෙළම පෙන්නා අමුතු ලස්සන හිනාවක් පෑ යුවතිය, තමන් මුලින් හිස ගැස්සූ දිශාවට ප්‍රතිවිරුද්ධ අතට නැවත හිස ගැස්සුවාය…..

“නැ….නැහ්….න….නංගි….ඒ…ඒ අමාරුව ….සොරි….ඒ අදහස ගියා….අනෙ…මම යන්නම්….”

“ඔව් අයියෙ….මගේ මේ ඇඟ ලොකු ළමයෙක් වෙච්ච දා ඉඳන් මගෙන් අහගෙන ආපු හැම කොල්ලෙකුටම මම මේ කථාව කියලා ඇති…..එයින් හුඟ දෙනෙක් මට පිස්සු කියලා හිතාගෙන, එදා ඉඳන් පස්සෙන් ආවෙ නෑ……මගේ අනිත් ඇඟ, ඒ කියන්නෙ පිරිමි ඇඟ ලොකු මහත් වෙච්ච දා ඉඳන් ඒකට ලයින් වෙච්ච කෙල්ලො හැමෝටමත් මම මේ කථාව කියලා ඇති….මම තනි විඥාණයක්, එකිනෙකට සමාන්තර කාළ අක්ෂ දෙකක පහළ වෙච්ච ඇඟවල් දෙකක, එකවිට ඉපදිච්ච……දැන් එපානේ මාව….?…”

“ඔ….ඔව්…එපා….මම කිව්වෙ…නෑ….එහෙම අදහසක් තිබ්බෙම නෑ…..මම යන්නම් නංගි…..මම…..බ්….”

==========================================

“ඉතින් මචන්, ඒකි කියනවා කාළ අක්ෂ දෙකක ඉපදිච්ච ඇඟවල් දෙකම එයාගෙලු…”
“හාආආආආහ්…..හාආආආආහ්…….හා…….මහ්….මහ්…..මට බෑ උත්තෝ……පු…පුක රිදෙනවා හිනාවෙලා……අම්බෝ….!”
“ඒ කොල්ලයි, කෙල්ලයි දෙන්නම එක්කෙනාලු…..එක්කෙනාම දෙන්නලු…..”
“හුවෑඈඈඈඈහ්…..හුවෑඈඈහ්…..හුවෑඈඈඈඈහ්හ්…..හාආආආආහ්…….අම්බෝ බඩ…..අ….අ…!”

“හිනාවෙන්නෙ නැතුව අහගනින් උත්තො….!…..රෙද්ද….!”

“ය….යකෝ….තෝ මේ වගේ සෙවළ පොල් මුඩ්ඩක් කියලා දන්නව නම් මම උඹව අරගෙන අර තොවිල් පළවල් ගානෙ යක්කුන්ගෙ ෆොටෝ ගහන්න යන්නෙත් නෑ….!….ආපෝ….!…ඒකි ෂුවර් එකටම ලෝකෙ කාළා වතුර බීපු අම්මණ්ඩියෙක්….!…උඹේ ඩයල් එක දැක්ක ගමන්, උඹ පස්සෙන් එන එක නවත්තගන්න මොකක් හරි හොල්මන් කථාවක් කිව්වොත්, තොට හුජ්ජ යන බව අනිවා මීටර් වෙන්න ඇති…..!…..හැබැයි ඒකි පට්ටම මීටරයක් තියෙන කෙල්ලෙක්,
මස්සිනා…!….ආ….?……හිතපන්, කොල්ලෙක් තමන්ගෙ පස්සෙන් එන එක නවත්තගන්න ඔහොම බොරුවක් හදලා ගහනවා කියන්නෙ…..මාර ක්‍රියේටිව්…..!….මම නම් කියන්නෙ උඹ කඳවල් දෙකක් උනත් කමක් නෑ කියලා ඕකටම බැහැපන්….!…වටිනවා මචන් ඒ මොළේ….!”

“අනේ මේ උඹ ලබ්බක් කථා කරන් නැතුව හිටපන්…!…උඹ දැක්කෙ නෑනෙ එතන වෙච්ච දේ….?”

“ඇයි ඒකි උඹට අතවර කරන්න ආවද?…”

“පිස්සු ප*ක් කියවන්න එපා මනුස්සයො….!….ඒකිගෙ ඇස් දෙක මහ අමුතුයි…..මට ඒ දාපු බැල්මට් එක මතක් වෙනකොට, මේ දැනුත් අත්වල මයිල් කෙළින් වෙනවා යකෝ…..!”

“ඇයි උඹට වෙන මුකුත් කෙළින් වෙන්නෙ නැද්ද?….”

“අඩෝ මේ, සෙනුරයා….උඹ විශ්වාස කරනව නම් විශ්වාස කරපන්….!….මම කියන්නෙ මට දැනිච්ච දේ….ඒකි මහ අමුතුයි බං….ඒකිගෙ මොකක් නමුත් අමුත්තක් දැක්කා මම….”

“ඒකි ඒම නෑ බං…!…අනේ මේ….!….යකෝ, ඔය උඹගෙම හිත….!…ගොම්මන් වෙලාවෙ, මායාකාර ඇස් දෙකක් තියන ලස්සන කෙල්ලෙක් එක්ක, අර රූස්ස ගහක් යට, පාලු පාරක ඉන්නකොට ඕන සිංහයෙක්ගෙ පපුව පොඩ්ඩක් ගැස්සෙනවා…..!…හැබැයි මචෝ, ෆිල්ම් එකකට නම් මරුම අයිඩියා එක ආ…..!….ඇමරිකාවෙන් දන්නව නම් උස්සන් යන්නෙ ඒකිව….උස්සන්…!….”

“උඹ කියන්නෙ දැන් ඒකි මේ කථාව ඒකිගෙ නිඹුල් සහෝදරයට කිය කිය හිනාවෙනවා ඇති කියලද?”

” නැතුව ගොනෝ….!…නිකම් නෙමෙයි….පුකෙනුත් හිනා වෙනවා ඇති…..!..පුකෙනුත් …!…..හෙට වෙද්දි ඒකිගෙ ඉස්කෝලෙම උඹ හෙන පේමස් වෙයි….දන්නවනෙ ඒකෙ අම්මණ්ඩිලගෙ හැටි…!…සතියක් දෙකක් ටවුන් නොබැහැ හිටාම් ඉතින් නෝණ්ඩිය යනකල්…!…… අඩෝ ඒක නෙමේ….මේ කථාව අහද්දි මට දෙයක් කල්පනා උනා….”

“මොකක්ද උඹට කල්පනා උනේ….?”

“උඹට මතකද, අර අපේ ඉස්කෝලෙ හෙඩ් ප්‍රිපෙට් හිටපු සේමගේ අයියා….?”

“ඔව් … අර ඒ ලෙවල් වලින් පේරාදෙණිය කැම්පස් ගියේ….?”

“අන්න රයිට්…!…බුවා දැන් එහෙ රිසර්ච් මොකක්ද එකකුත් කරනවනෙ…..අර කොන්ටම් පිසික්ස් වල “ඩබල් ස්ලිට් ” කියලා කේස් එකක් ගැන අපි කථාවුනේ…..අර තලයක තීරු දෙකක් අතරින් ආලෝක කදම්භයක් ගමන් කරනකොට, විවර්තන රටාවන් සමඟ ආලෝකයේ –

  • අංශුමය ස්වභාවය
  • ශක්ති තරංගමය ස්වභාවය

කියන දෙකම ගැන සටහන් ලැබෙනවා කියලා…..අන්න ඒක ගැන වැඩිදුර විස්තර මම උගෙන් ඇහුවා….”

“ඉතින්….”….ඇඳ මත හිඳගෙන දෙදණ තුරුල් කරගෙන සිටි හසංක ඉන් නැගිට සෙනුර වෙත ආවේය……

“ඌ කිව්වා, නිරීක්ෂකයාගේ නිරීක්ෂණයට භාජනය වෙනතුරු, ආලෝකයේ පදනම පවතින්නේ අංශුමය සහ තරංගමය ස්වභාවයන් දෙකේම අධිස්ථාපනයක ( Superposition) කියලා….”

“ඔව්…. ඒ හරිය මතකයි…..අපි සයන්ස් ඩේ කේස් එකටත් ඕක පෙන්නුවනෙ ටිමාලත් එක්ක….”

“හරි….සේමගේ ලොක්කා කියන විදියට නම්, ඔන්න ඔය කොන්ටම් අධිස්ථාපනය හෙවත් කොන්ටම් ව්‍යාකූලත්වය හරියට නිවැරදිව එහෙම පවතින්නෙ කොහොමද කියලා අද වෙනතුරු විද්‍යාඥයන්ට සියට සීයක් අවබෝධ කරගන්න බෑ…..හේතුවක් හරියටම කියන්නත් බෑ….”

“ඉතින්….උඹට මොකක්ද ආව අයිඩියා එක…?”

“කොහොමද ඔය ආලෝකය කියන්නෙත්, අර කෙල්ල කිව්ව කථාවෙ වගේ දෙයක් නම්…..?….. ඒ කියන්නෙ කෙල්ලගෙ ස්ටෝරියෙ ඒකි එකම විඥාණයක්, කාළ අක්ෂ දෙකක බිහිවෙච්ච ඇඟවල් දෙකක පවතින…..ආලෝකයත් ඒ කෙල්ලගෙ විඥාණය වගේ නම්….?….කාළ අක්ෂ දෙකක් තියෙනවා…..එක අක්ෂයක අංශුමය ස්වභාවය….අනෙක් අක්ෂයේ තරංගමය ස්වභාවය…..අපට මේ ත්‍රිමාණ අවකාශය තුළ ඒ කාළ අක්ෂ දෙකම එකට හමුවන නිසා, අපිට ආලෝකය තරංග-අංශු අධිස්ථාපනයක තියෙනවා වගේ පේනවා වෙන්න බැරිද?…..

හැබැයි කාටද මේ අවකාශය ( ඉස්පේස් ) ඇතුලෙ කාළය එක අක්ෂයකට වඩා බෙදන්න මතක් වෙන්නෙ….?…. එහෙම අක්ෂ දෙකක මේ අංශුමය ස්වභාවය සහ තරංගමය ස්වභාවය වෙන වෙනම තිබිලා, දෙක එකතු වෙලා එකක් හැදිලා, අපට ඒ එකේ අධිස්ථාපනයක් පේනවා වෙන්න බැරිද?…..

විද්‍යාඥයන්ට කාළය එක් අක්ෂයකට, ඒ අක්ෂය නිරූපණය කරන මානයකට දානවා ඇරෙන්න, ඊට වඩා කාළ අක්ෂ තියෙන්න පුලුවන් කියන එක ගෝචර නෑ…..ඒ නිසා එයාලා ඒක හිතන්නෙ නෑ…..ඒ නිසා ඔවුන්ට ඔය අධිස්ථාපන අවස්ථාව වෙන වෙනම පවතින කාළ අක්ෂ දෙකක් බව හිතාගන්න අමාරුයි…..එහෙම වෙන්න බැරිද?…..”

========================================

” ඔව් මල්ලි…..මම ඉන්දියාවෙ ජවහල්ලාල් නේරු යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් මහේෂ් ගුරුනාදන්ට කථා කරා….ඒ සර්, අපේ ඩිපාට්මන්ට් හෙඩ් සර්ගෙ හොඳ යාලුවෙක්…..අපි එක්ක රීසර්ච් ඩීටේල්ස් ගොඩක් හුවමාරු කරගන්න කෙනෙක්……එයා මේ ඔය දෙන්නා දුන්නු කන්සෙප්ට් එක ගැන මාර විදියට පැහැදුණා……මේකට අවශ්‍ය බේසික් නොලේජ් ඔක්කොම උඹලා දෙන්නට දීලා, එයා ගාවම තියාගෙන, රීසර්ච් එකට ජොයින් කරගන්න එයා හරි කැමැත්තෙන් ඉන්නෙ……උඹලාගේ මෙහේ එක්සෑම් එයාට ප්‍රශ්ණයක් නෑ…….එයා කියන්නෙ, ඉන්දියාවේ ඒ ගොල්ලන්ගෙ මැතමැටික්ස් ඩිපාට්මන්ට් එක හොයන්නෙ අලුත් අයිඩියා කියන එක…..උඹලා කැමති නම්, මම ඒක ඇරේන්ජ් කරලා දෙන්නම්……”

“හරි සේමගේ අයියෙ..!….අනේ පින් සිද්ද වෙනවා මේක මෙච්චරවත් දුරක් ඇදලා දුන්නට…..!….”

“බලපන්කො ඈ…..!…”Multi-Time Axis Theory” එකක් උනත් බිහිවෙන්න පුලුවන් කියලා ඒ ප්‍රොෆෙසර් කියනවා….!….හසංකයා අන්දන්න කෙල්ලෙක් ඇරපු තඩි බොරුවක් නිසා, උඹලා දෙන්නට පිනක් පෑදෙන්න යන්නෙ ඈ….?….කෝ දැන් ඌ….?”

“ඔය ඉන්නෙ ඇඳ උඩ, හොම්බ දණිහෙ ගහන්….!……”

==========================================

දත් මැදගෙන, නයිට් ගවුම පිටින් කාමරයට ආ එරන්දතී, සිය කාමරය දෙස වරක් බලා, මේසය මත තිබූ ගෙදර වැඩ සම්පූර්ණ කළ පොත් ටික, තනි තට්ටුවට ගසා තිබූ අනෙක් පොත් සමඟ අඩු කර, සිය ජංගම දුරකථනය සහ කන් යොමු යුගල ගෙන, සයනයේ හාන්සි වූවාය….

ඇයගේ කාමරයට තනි බිත්තියකින් වෙන් කර තිබූ යාබද කාමරයේ, උඩු කය නිරුවතින්, ෂෝටක් ගසාගෙන සිටි එරන්දද, සිය ජංගම දුරකථනය ගෙන, කන් යොමු යුගල කණට ගසාගෙන සයනයේ හාන්සි වූයේය….

එරන්ද දෙනෙත් පියාගත්තේය…..අනෙක් කාමරයේ එරන්දතී ද සිය දෙනෙත් පියා ගත්තාය……අනතුරුව දෙදෙනාගේම ජංගම දුරකථන වල එකම ගීතය වැයෙන්නට විය…..

“අරූ ආයෙ ආවෙ නෑ පස්සෙන්…..ඌ එදා ඉඳන් පේන්නවත් හිටියෙ නෑ……ඒකත් හොඳයි……මට දැන්ම පෙම්වතෙක් වත්, පෙම්වතියක් වත් වෙන්න උවමනා නෑ…..!”

Google+ Linkedin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*
*
*